හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි.

යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව උතුරේ ඉඩම්වල ප්‍රමාණය නිරික්ෂණය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි නිදහස් කළ හැකි සියලු ඉඩම් කඩිනමින් හඳුනාගැනීමට පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳ වාර්තාවක් මෙම ඔක්තෝබර් 01 වන දා ට පෙර ආණ්ඩුකාරවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳ (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා කඳවුරු අවශ්‍ය බව සියලුදෙනාම පිළිගත යුතු බවයි. ඒ පිළිබඳ අත්දැකීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අත්විදීමට සිදු වූ බව කියා සිටි ජනාධිපතිතුමා ප්‍රදේශයේ සහ ජනතාවගේ ආරක්ෂාවට ආරක්ෂක කඳවුරු පැවතිය යුතු බව ද සඳහන් කළේය.

නිදහස් කළ හැකි සියලු ඉඩම් නිදහස් කර දීමට කඩිනමින් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා සාකච්ඡා මඟින් සියලු ගැටලු විසඳා ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

එමෙන්ම පුද්ගලික ඉඩම් හමුදා කඳවුරු සඳහා අවශ්‍ය නම් එම ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

පසුගිය යුද සමයේ දී ආරක්ෂක අංශ විසින් පවරා ගන්නා ලද උතුරේ ඉඩම්වලින් රජයේ ඉඩම් 80.98%ක් ද පෞද්ගලික ඉඩම් 90.73% ක් ද මේ වන විට නිදහස් කර තිබෙන බව ආරක්ෂක අංශ විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

202total visits,15visits today

Related posts

Leave a Comment