අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක් දෙමාපියන්ට සැර වචන වලින් සලකයි

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉන්න ගුරුවරුන් වැඩි පිරිසක් හරියට වැඩ කරන්නේ නැහැ. ඒක මම දන්න නිසා මගේ දරුවනුත් ටියුෂන් පන්ති යවල තමයි, උගන්නන්නේ යැයි අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා ප්‍රකාශ කළේය.

මේ අම්මල තාත්තලටත් මම කියන්නේ හොඳ ටියුෂන් පන්තියක් තෝරාගෙන දරුවන්ට උගන්වන්න යනුවෙන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ප්‍රකාශ කළා යැයි දෙමව්පියන් මෙහිදි පෙන්වා දුන්නේය.

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් රැසක පවතින ගුරු හිගය පිළිබදව අධ්‍යාපන කලාප අධ්‍යක්‍ෂිකාවට පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ දී ඇය ඉහත ප්‍රකාශය කල බව දෙමාපියෝ ප්‍රකාශ කරති. එයින් පසු දෙමාපියන් පවසා ඇත්තේ වැඩ නොකරන ගුරුවරු ඉන්න පාසල් වහල දාන්න. මේ අධ්‍යාපන කලාප කාර්යාලයත් වැඩක් නැහැනෙ ඒකත් වහන්න යැයිද දෙමව්පියන් ඒ අවස්ථාවේදීම පැවසූ බවද දෙමාපියෝ දකුණු පලාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ප්‍රකාශ කළේය.

දෙමාපියන්ගේ එම ප්‍රකාශයෙන් පසුව කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව සැර වචන පවසමින් බැණ වැදි ඇති අතර එහි සිටි බොහෝ දෙමව්පියන් සිය ජංගම දුරකථන වල සිද්ධිය පටිගත කර තිබෙන බවද කියයි. ඒවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ලබා දී තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වන ගුරු මව්පියන් පිරිසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට පියවර ගන්නා බවද අම්බලන්ගොඩ ප්‍රදේශයේ දෙමව්පියෝ අප හා පැවසීය.

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 83 කින් අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය, දේවානන්ද විද්‍යාලය, අලුත්වල මහා විද්‍යාලය ඇතුලු පාසල් රැසක ප්‍රාථමික ගුරුවරුන්ගේත් විෂයානුබද්ධ ගුරුවරුගේ හිගයක් පවතින බව පෙරේදා (21) පැවති විදුහල්පති රැස්වීමේදීද ගුරුවරුන් විසින් පෙන්වා දී තිබෙන බවද ඊට සහභාගී වූ විදුහල්පතිවරයෙක් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ගීතානි විජේගුණසිංහ මහත්මියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

පත්තර කාරයොන්ට ඔය තොරතුරු කියන්න මට අවසර නැහැ. අවශ්‍ය දෙයක් තිබේ නම් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගෙන ඒගැන අහන්න යනුවෙන් පැවසීය.

දකුණු පලාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා මෙසේ පැවසීය.
අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව හමුවී පාසල් වල දිගු කලක් පවතින ගුරු හිගය පිළිබදව පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ මෙම ප්‍රකාශය කල බවයි සදහන් වෙන්නේ. දැනගන්නට ඇති තොරතුරු වලට අනුව එහිදී කළාප අධ්‍යක්‍ෂිකාව පවසා ඇත්තේ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වල ඉන්න ගුරුවරු වැඩි පිරිසක් වැඩ කරන්නේ නැහැ. ඒක මම දන්න නිසා මගේ දරුවන්ටත් ටියුෂන් පන්ති යවල උගන්නවා. ඔයාලත් ටියුෂන් පන්තියක් තෝරගෙන දරුවෝ ඒවට යවන්න. වෙන කරන්න දෙයක් නැහැ යනුවෙන්.

නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි මා වෙත පැමිණිල්ලක් ලැබී නැහැ. ඒ නිසා නිසි පරිදි පැමිණිල්ලක් කලොත් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න පුළුවන් යැයිද දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

42total visits,1visits today

Related posts

Leave a Comment